සිපිරි සර 02 ප්‍රසංගය කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණගාරයේදි..

 

බන්ධනාගාරගත නේවාසිකයින් සහජ ගායන කුසලතා එළිදැක්වීමේ අරමුණින් ගාල්ල බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහ මහතාගේ සංකල්පයක් අනුව පවත්වන ලද   සිපිරි සර 02 රැදවියන්ගේ නොරැදුණු ගී සර ප්‍රසංගය 2017.04.29 දින ප.ව 03.00 ට  ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.  

මෙම ප්‍රසංගය සදහා සිරස සුපර් ස්ටාර් සීසන් 07 අදියරේ විශේෂ අවධානයට පාත්‍ර වූ තරගකරුවෙකු වන ගාල්ල බන්ධනාගාරයේ නේවාසිකයෙකු වන උදයංග පෙරේරා ඇතුළු දක්ෂ ගායක ගායිකාවන් පිරිසක් සහභාගි වූ අතර ප්‍රනීත් සාරංග ප්‍රම්‍රඛ වාද්‍ය වෘන්දය සුමිහිරි සංගීත රටා මවන ලදි.

මෙම ප්‍රසංගය සදහා ආරාධිත ගායන ශිල්පීන් ලෙස මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි  මහත්මිය සහභාගී විය. සිපිරි සර ප්‍රසංගය සදහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන පිළිබද ගරු කැබිනට් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මැතිතුමා සහ දකුණු පළාත් ගරු ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර මැතිතුමා සහභාගී වූ අතර මීට අමතරව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමා සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඩබ්.ඒ.එස් අමරතුංග මැතිතුමා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා විශේෂ ආරාධිත අමුත්තන් ලෙස මෙම ප්‍රසංගය සදහා සහභාගී විය.

මීට අමතරව පළාත් සභා මැති ඇමතිවරු සහ බන්ධනාගාර කොමසාරිස්වරු මෙන්ම බන්ධනාගාර අධිකාරිවරුන් , ගාල්ල සිරකරු සුභසාධක සංගමයේ සාමාජික මහත්ම මහත්මීන් සහ බන්ධනාගාර නිළධාරින් ඇතුළු විශාල පිරිසක් මෙම ප්‍රසංගය නැරඹීම සදහා පැමිණි සිටියේය.