බන්ධනාගාර වර්ණ ප්‍රදානය කිරීමේ උත්සවය

 

112 වන බන්ධනාගාර දිනයට සමගාමිව සංවිධානය කරන ලද උත්සව මාලාවේ අවසාන උත්සවය වශයෙන් දෙපාර්තමේන්තු කීර්තිනාමය ජාතික හා ජාත්‍යන්තර තලය දක්වා ගෙනයාමට ක්‍රීඩා ක්ෂෙත්‍රය ඔස්සේ උසස් දක්ෂතා පෙන්නුම් කල බන්ධනාගාර ක්‍රීඩක/ක්‍රිඩිකාවන් සහ නිලධාරීන් දිරිගැන්වීමේ මුලික අරමුණ ඇතිව බන්ධනාගාර වර්ණ රාත්‍රීය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ බන්ධනාගාර දෙපාර්තමේන්තු ක්‍රීඩා හා විනෝද සංගමේ ගරු ප්‍රධාන ලේකම් ගාමිණි ජයසිංහ මහතා ප්‍රමුඛ සංවිධායක කමිටුව විසින් සංවිධානය කරන ලදී.

2017.08.06 වන දින ප.ව. 5.00  ට කොළඹ කිංස්බරි හෝටලයේදි බන්ධනාගාර වර්ණ රාත්‍රී උත්සවය පවත්වන ලදී. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු ගරු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා සහභාගි විය.

මිට අමතරව ශ්‍රී ලංකා පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අරවින්ද ද සිල්වා මහතා, යගුලිය ඉසව්වෙන් වසර 17 ක් ශ්‍රී ලංකා වාර්තා තැබු ප්‍රවිණ මලල ක්‍රීඩක/ෆවර් වර්ල්ඩ් ආයතනයේ අධිපති අලෙයි ලිමා මහතා ඇතුළු විශාල ආරාධිත අමුත්තන් සංඛ්‍යාවක් සහභාගි වුහ.

මෙම අවස්ථාවේදි බන්ධනාගාර නිලධාරි/නිලධාරින්යන් 165 කට ආසන්න ප්‍රමාණයක් ( වර්ණලාභී 20,කුසලතාලාභි 124, නිලධාරි කුසලතා 18, විශේෂ කුසලතා 03) වර්ණ සහ කුසලතා ලාභින් වශයෙන් තේරි සිටි අතර, ශ්‍රී ලංකා හැන්ඩ් බෝල් කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කළ බන්ධනාගාර නියාමක ජී.කේ.එස්.කුමාර මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අතිශුර ක්‍රීඩකයා වශයෙන් අභිෂේක ලබන ලදී.