දිවයින පුරා බන්ධනාගාර ආයතන වල රදවා සිටින 33,000 අධික වු නේවාසිකයින් කොරෝනා වෛසරයේ බලපෑමෙන් සුරක්ෂා කොට ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සදහා ඔවුන් වෙනුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත මුඛ ආවරණ නිෂ්පාදනය කිරීම වෙනුවෙන් අනුග්‍රහය ලබාදෙන ලෙස ගරු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මැතිතුමා විසින් ජාත්‍යයන්තර රතු කුරුස සංවිධානයෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඒ වෙනුවෙන් එම සංවිධානය විසින් ලබාදුන් අමුද්‍රව්‍ය යොදා ගනිමින් මහර බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහ මහතා ඇතුළු නිළධාරින්ගේ අධීක්ෂණය මත මහර බන්ධනාගාර කර්මාන්ත අංශයේ සේවයේ නියුතු සිර දඩුවම් විදින රැදවියන් විසින් පළමු අදියර යටතේ නිෂ්පාදනය කරන ලද මුඛ ආවරණ 15,000 ක් බන්ධනාගාර මූලස්ථානය වෙත පසුගියදා භාර දෙන ලදි.

ජාත්‍යයන්තර රතු කුරුස සංවිධානයේ මෙරට ප්‍රධාන කාර්යාලයේ ආරක්ෂණ නියෝජිත රාෂා මොහොමඩ් මහත්මිය ඇතුළු නිළධාරින් විසින් මෙම ව්‍යාපෘතිය සදහා අවශ්‍ය සියළුම අමුද්‍රව්‍ය බන්ධනාගාර මුලස්ථානය වෙත පරිත්‍යාග කල අතර එසේම සෞඛ්‍ය ආරක්ෂිතව හා ගුණාත්මකව මෙම නිෂ්පාදන කටයුතු සිදු කල යුතු ආකාරය පිළිබදව මහර බන්ධනාගාර පුනරුත්ථාපන අංශයේ නිළධාරින් හා වෘත්තීය උපදේශක නිළධාරින් වෙනුවෙන් කොළඔ රතු කුරුස සංවිධාන කාර්යාලයේදී මූලීක දැනුවත් කිරිමේ වැඩසටහනක්ද පවත්වන ලදි.

අනතුරුව දෙවන අදියර වශයෙන් මුඛ ආවරණ 25,000 ක් නිෂ්පාදනය කිරීම සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය නැවත ලබාදුන් අතර ඒ අනුව මෙම ව්‍යාපෘතිය අවසානයේදී ශ්‍රී ලංකාවේ සමස්ථ බන්ධනාගාර පද්ධතිය තුල රදවා සිටින නේවාසිකයින් වෙනුවෙන් මුඛ ආවරණ 40,000 ක් නිෂ්පාදනය වන අතර මේ වන විට එහි අවසන් අදියරේ කටයුතු මහර බන්ධනාගාර කර්මාන්ත අංශය තුල කඩිනමින් සිදු වෙමින් පවති.