සමස්ත ලංකා බන්ධනාගාර නියාමක නිලධාරීන්ගේ සුභසාධක සංගමයේ හා සමස්ත ලංකා ජේලර් නිලධාරීන්ගේ සුභසාධක සංගමයේ ඉල්ලීමකට අනුව බන්ධනාගාර නිලධාරීන්ගේ සුභසාධන කටයුතු නංවාලීම සඳහා ගතයුතු පියවර කීපයක් සම්බන්ධව බන්ධනාගාර කළමණාකරණ සහ සිරකරු පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ මැතිතුමන් සමග සාකච්ඡාවක් 2021.07.13 වන දින පවත්වන ලදී. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යාංශයේ ගරු ලේකම් වී.ආර්.සිල්වා මැතිතුමා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා, අතිරේඛ බන්ධාගාර කොමසාරිස් ටී.අයි. උඩුවර මහතා, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා, ජේලර් සංගමයේ සභාපති I පෙළ ජේලර් වජිර එදිරිසිංහ මහතා හා ලේකම් I පෙළ ජේලර් එච්.ඩී.කේ.එන්. ප්‍රේමවංශ මහතා, නියාමක සංගමයේ සභාපති රන්හිරු ප්‍රසංජිත් මහතා ලේකම් සුභානි හේමවරුණි මහත්මිය හා භාණ්ඩාගාරික ධනුක සෙනරත් මහතා යන නිලධාරීන් සහභාගී වූ අතර පහත කරුණු සම්බන්ධව සාකච්ඡා කරන ලදී.

පොලිස් සේවයට සාපේක්ෂව බන්ධනාගාර සේවයටද වැටුපෙන් 40%ක දීමනාවක් ලබා ගැනීම, බන්ධනාගාර නිළධාරීන්ගේ දරුවන් පාසල් වලට ඇතුලත් කිරිමේ දී අමතර ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කර කිරීම හා බන්ධනාගාර නිළධාරීන් රජයේ රෝහල් මගින් ප්‍රතිකාර ලබා ගැනීමේ දී යම් ප්‍රමුඛතාවයක් ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් 2011 වසරේ දී නිකුත් කරන ලද චක්‍රලේඛය වර්තමානයට ගැලපෙන පරිදි සංශෝධනය කර බලාත්මක කිරීම, බන්ධනාගාර නිලධාරීන් සඳහා නිඳහස් ගමන්වාර ප්‍රවේශ පත්‍රයක් ලබාදීම හා නිලධාරීන් සඳහා සහන මුඳලට යතුරුපැදි ලබා දීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කර ගැනීම, පොළිස් සේවයට දැනට ගෙවනු ලබන නිළ ඇඳුම් මැහුම් කුළී දීමනාවට අනුකූලව බන්ධනාගාර නිලධාරීන්ගේ නිළ ඇඳුම් මැහුම් කුළී දීමනාව සංශෝධනය කර ගැනීම යන යෝජනා මෙහිදී ඉදිරිපත් විය.

මෙම ඉල්ලීම් පිළිබඳව අවධානය යොමු කර ඉදිරි කටයුතු සිදුකිරීමට ගරු අමාත්‍යතුමා මෙම අවස්ථාවේදී එකඟතාවය පලකරන ලද අතර බන්ධනාගාර නිලධාරීන්ගේ සේවාව ඉහලට නංවා සේවා තෘප්තිය ඇතිකිරීමේ අවශ්‍යතාවය පිළිබඳව කරුණු අවධාරණය කරන ලදී.