බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිටින උපාධිධාරී නියාමක නිලධාරීන්ගේ විශේෂ සාකච්ඡාවක් 2021-07-14 දින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සමඟ බන්ධනාගාර මූලස්ථානයේදී පවත්වන ලදී. මෙම සාකච්ඡාව පවත්වන ලද්දේ බන්ධනාගාර නියාමක නිලධාරීන්ගේ සුභසාධක සංගමය මගින් සිදුකරන ලද ඉල්ලීමකට අනුවය.
මෙහිදී උපාධිධාරී නිලධාරීන් කියා සිටියේ මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උපාධිධාරී නියාමක නිලධාරීන් 70 කට ආසන්න පිරිසක් සිටින බවත්, ඔවුන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ රැකියාව කරන අතරතුර ඉතා කැපවීමෙන් තම උපාධිය සම්පූර්ණ කර ඇති බවත්, එබැවින් මෙම නිලධාරීන්ගේ රැකියා තෘප්තිය වෙනුවෙන් යම් සහනයක් ලබා දෙන ලෙසත්ය.

විශේෂයෙන් මෙහිදී දෙපාර්තමේන්තුවේ ඉහළ නිල තනතුරු වලට උසස් කිරීමේදී උපාධිධාරීන්ට ප්‍රමුඛතාවයක් දක්වන ලෙසත්, දැනට දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව ඇති සංවර්ධන නිලධාරී, සැලසුම් නිලධාරී, උපදේශන නිලධාරී යන තනතුරු සඳහා පත් කිරීමේදී දෙපාර්තමේන්තුව තුල සිටින උපාධිධාරීන්ට අවස්ථාවක් ලබා දෙන ලෙසත්ය.
මෙහිදී II පෙළ ජේලර් නිලධාරී තරඟ විභාගය සඳහා හා සහකාර අධිකාරීවරුන් බාහිරින් බඳවාගන්නා අවස්ථාවේදී ඒ් සඳහා උපාධිධාරී නිලධාරීන් හටද යම් අවස්ථාවක් ලබා දීම පිළිබඳව සාකච්ඡා කරන ලදී. ඒසේම නිලධාරීන්ට අධ්‍යයන කටයුතු සිදුකිරීමට අවස්ථාව සලසා දීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.

මෙම අවස්ථාව සඳහා බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒ්කනායක මහතා, බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) මලින් ලියනගේ මහතා, සමස්ත ලංකා බන්ධනාගාර නියාමක නිලධාරීන්ගේ සුභසාධක සංගමයේ සභාපති රන්හිරු ප්‍රසංජිත්, ලේකම් සුභානි හේමවරුණි හා භාණ්ඩාගාරික ධනුක සෙනරත් යන නිලධාරී මහත්ම මහත්මීන්ද සහභාගී විය.