කලාපීය රටවල් බොහොමයක් මේ වනවිට බන්ධනාගාර පරිපාලන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදුකර ඇති අතර එහිදී එම රටවල් විශෝධන සේවයක් (Correctional Service) ස්ථාපනය කර බන්ධනාගාර නිලධාරීන්ගේ සේවාව වෘත්තීමය භාවයකට පත්කිරීමට කටයුතු කර ඇත.

 

එමගින් බන්ධනාගාර නිලධාරීන් බඳවා ගැනීම, ඔවුන් පුහුණු කිරීම, උසස් වීම් ආදිය විධිමත් ක්‍රමවේදයකට අනුව සිදුකරනු ලබයි. සිරකරුවන්ට සැලකීම පිලිබඳ එක්සත් ජාතීන්ගේ අවම ප්‍රමිතීන් හෙවත් නෙල්සන් මැන්ඩෙලා රීති අනුවත් විශෝධන ක්ෂේත්‍රයේ නිලධාරීන් ඉතා ක්‍රමානුකූලව බඳවාගෙන පුහුණු කලයුතු බවට දන්වා ඇත.

 

ඒ අනුව ශ්‍රී ලංකාවේ විශෝධන සේවාව ස්ථාපිත කිරීම සඳහා වන සේවා ව්‍යවස්ථාව බන්ධනාගාර ජේෂ්ඨ නිලධාරීන්ගේ අදහස් හා යෝජනා මෙන්ම සියළුම ශ්‍රේණිවල නිලධාරීන්ගේ අදහස් අනුව සකස්කර අනුමැතිය ලබාගැනීම සඳහා යොමු කිරීමට කටයුතු කර ඇත.

 

එම සේවා ව්‍යවස්ථා කෙටුම්පතක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා විසින් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන ගරු රාජ්‍ය අමාත්‍යතුමා වෙත පිළිගැන්වීම 2021-01-04 වන දින සවස රාජ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී සිදුකරන ලදි. එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් වී.ආර්.සිල්වා, අතිරේක ලේකම් එච්.එම්.එන්.සී. ධනසිංහ, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුසිත උඩුවර, බන්ධනාගාර කොමසාරිස් පාලන හා පුනරුත්ථාපන චන්දන ඒකනායක යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.