විවිධ චෝදනාවන් සදහා වරදකරුවන් වී බන්ධනාගාර ගත වන රැඳවියන් යහපත් පුරවැසියන් ලෙස පුනරුත්ථාපනය කර සමාජගත කිරීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ  මූලික අරමුණයි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සදහා බන්ධනාගාර ආයතන තුල විවිධ පුනරුත්ථාපන වැඩසටහන් සහ විවිධ ක්‍රියාකාරකම් සිදු කරගෙන යනු ලබයි.

දිවයිනේ පිහිටා ඇති බන්ධනාගාර ආයතන තුල දැනට “සිපිරි නැණ සල” නමින් පුස්තකාල ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. එම පුස්තකාල සංවර්ධනය කර දැනුම බෙදාහැරීමේ මධ්‍යස්ථාන බවට පත් කර රැඳවියන්ගේ කියවීමේ රුචිකත්වය වැඩි කිරීම මෙහි මූලික අපේක්ෂාවයි. බන්ධනාගාර කොමසාරිස් (පාලන,පුනරුත්ථාපන හා මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතා‍ගේ ඉල්ලීම පරිදි 2022 ජාත්‍යන්තර සාහිත්‍ය මාසය හා සිරකරු දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තා නීතිඥ සංගමය හා ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානය මගින් එම පුස්තකාල සඳහා අවශ්‍ය පොත්පත් හා ගෘහ උපකරණ පරිත්‍යාග කිරීමක් 2022.09.05 වන දින බන්ධනාගාර මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී  සිදු කරන ලදි.

එම  විශේෂ අවස්ථාව සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා, බන්ධනාගාර කොමසාරිස් (පාලන,පුනරුත්ථාපන හා මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතා, ශ්‍රී ලංකා කාන්තා නීතිඥ සංගමයේ සභාපති රුචිරා එස්.ගුණසේකර මෙනවිය, එම සංගමයේ ලේකම් අචිනි වික්‍රමරත්න මහත්මිය හා ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ සභාපති එස්.ඒ.දුලිත පෙරේරා මහතා, එම සංගමයේ  ප්‍රධාන ලේකම් උපාලි ජයවර්ධන මහතා ඇතුළු නිලධාරීන් හා බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී  විය.