විවිධ චෝදනාවන් සඳහා වරදකරුවන් වී බන්ධනාගාර ගත වන රැඳවියන් යහපත් පුරවැසියන් ලෙස පුනරුත්ථාපනය කර සමාජගත කිරීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ  මූලික අරමුණයි. මෙම කාර්යයන් සාර්ථක කර ගැනීම සඳහා බන්ධනාගාර ආයතන තුල විවිධ පුනරුත්ථාපන වැඩසටහන් සහ විවිධ ක්‍රියාකාරකම් සිදු කරනු  ලබයි.

මෙලෙස ආරම්භ කරන ලද “විහඟ” සැබෑ නිදහස සොයා සිපිරි ගෙයින් සුපිරි ජීවිතයකට යන තේමාව යටතේ රැඳවියන්ගේ ආකල්ප සංවර්ධන වැඩසටහනක් සංවිධානය කර ඇත. විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වන රැදවියාට ආකල්පමය සංවර්ධනයක් ඇති කිරීමත්, නිවැරදි කායික හා මානසික ක්‍රියාකාරකම් තුලින් දඩුවම් කාලය නිවැරදිව බන්ධනාගාරය තුල ගත කිරීමට අවශ්‍ය පරිසරය සකස් කිරීම, රැඳවියා සමාජ ගත වීමෙන් පසු සමාජය තුල ජීවිතය නිවැරදිව ගත කිරීමට අරමුණු වන ක්‍රියාකාරම් පුහුණු කිරීම හා  රැඳවියන් පිලිබදව සමාජමය ආකල්පය නිවැරදි මඟකට යොමු කර ඔහුට සමාජය තුල වටිනාකමක් ලබා දීම මෙහි අරමුණ වී ඇත.

පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහනසේ විසින් මෙහෙයවනු ලබන “විහඟ” සැබෑ නිදහස සොයා  සිපිරි ගෙයින්  සුපිරි ජීවිතයකට යන තේමාව යටතේ රැඳවියන්ගේ ආකල්ප සංවර්ධන වැඩසටහන දිවයිනේ සෑම බන්ධනාගාර ආයතනයකම ක්‍රියාත්මක කිරීමට  නියමිතයි. එහි සමාරම්භක උත්සවය 2022.09.08 වන දින පස්වරු 2.00 ට අඹේපුස්ස පබෝදා මෙත් සෙවණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන  ශ්‍රවණාගාරයේ දී  පවත්වන ලදි.

මෙම විශේෂ අවස්ථාව සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දේණිය මහතා බන්ධනාගාර කොමසාරිස් (පාලන, පුනරුත්ථාපන, මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතා ජයමග ආයතනයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ සොනාල ගුණවර්ධන මහතා, විහඟ වැඩසටහන් සම්බන්ධීකාරක බුද්ධික වික්‍රමගේ මහතා ඇතුළු බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී විය.