බන්ධනාගාර දෙපාර්තුමේන්තුවේ හා කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යනය ආයතනයේ අනුමැතිය මත ‍‍ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී (ප්‍රජා වෛද්‍ය විද්‍යාව) වෛද්‍ය මලවිගේ අමිල සුරංග (MBBS, MSc, MD) මහතා විසින් බන්ධනාගාරගත රැදවියන්ගේ මානසික පීඩනය හා සියදිවි නසා ගැනීමේ හැසිරීම් පිළිබද අධ්‍යනයක් සිදුකරන ලදී. මෙම අධ්‍යනය සදහා බන්ධනාගාර ආයතන 22 ක රැදවියන් 1730 ක් ඇතුළත් වන පරිදි 2019 පෙබරවාරි මස සි‍ට 2019 දෙසැම්බර් මස දක්වා සිදුකරන ලදී.

මෙම අධ්‍යනය මගින් අනාවර්ණය වූ කරුණු එළිදැක්වීම 2021.11.13 වන දින වෝටර් එජ් හෝටලයේ දී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය මහජන සෞඛ්‍ය සේවා ලක්ශ්මී සෝමතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර, මෙම අවස්ථාවට අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.අයි.උඩුවර මහතා, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා, විශේෂඥ වෛද්‍ය ජානකී විදාන පතිරණ, විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි, යන මහත්ම මහත්මීන් ද බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී විය.

ඒ අනුව මෙම අධ්‍යනයේ දී රැදවියන් අතර පවතින මානසික පීඩනය මැනීම සිදුකිරිම හා ඒ සදහා අවදානම් සාධක කිහිපයක් හදුනා ගැනීමටද හැකියාව ලැබී ඇත.

  • සිර/සැකකරුවන් අතරින් 65.6% මානසික පීඩනයනේ පෙලෙන බව හඳුනාගෙන ඇත. සිරකරුවන් අතරින් 63.2% ද සැකකරුවන්ගෙන් 68.4% ද වශයෙන් මෙය සමන්විත වේ.
  • කාන්තා රැඳවියන් අතරින් 78.3% ද පිරිමි රැඳවියන්ගෙන් 60.7% ක් ද මානසික පීඩනයනේ පෙළෙ බව මෙම අධ්‍යයනය තුළින් හඳුනා ගෙන ඇත.

මේ සදහා පාඨක වී ඇති හේතු ලෙස,

  • සිරගත වු පසු පවුලේ අයගේ රැකවරණය සලසා දීම විරැකියාව.
  • බන්ධනාගාරවල පවතින යටිතල පහසුකම් වල අඩුපාඩු.
  • විවිධ රෝගවලින් පෙළිම.
  • බන්ධනගාරගත වු පසු මත්ද්‍රව්‍ය භාවිතවට අවස්ථාවන් නොමැති වීම.
  • බන්ධනාගාරගතවු පසු පවුලේ අයගෙන් හා අන් අය කොන් කිරීම.
  • භාහිර සන්නිවේදන සදහා ප්‍රමාණවත් කාලයක් නොලැබීම.

මීට අමතරව බන්ධනාගාර ගත රැඳවියන් අතර සියදිවි හානිකර ගැනීමේ හැසිරීම සඳහා අවදානම් සාධක කිහිපයක් මෙම අධ්‍යනය තුළින් හඳුනාගෙන ඇත.

එනම්,

  • බන්ධනාගාරගත සිර/සැකකරුවන්ගේ වයස අවුරුදු 45 ට වඩා අඩු වීම.
  • උසාවියක නඩු එකකට වඩා තිබීම.
  • මානසික පීඩනයෙන් පෙලීම.
  • ළමා කාලයේ ගෘහස්ථ හිංසනයට ලක්වීම හා පවුලේ අය ‍නොසලකා හැරීම.
  • දරුණු ලෙස මූල්‍ය ගැටලුවක් සහිත වීම.
  • බන්ධනාගාර ගත සිර/සැකකරුවන්ගේ පවුලේ අය ඔහු සමඟ නොමැතිවීම.

වැනි කරුණු සාධක වලින් කිහිපයකි .