බන්ධනාගාර ආයතනවල ඇතිවන කැරලි තත්ත්වයන් හා ප්‍රාණ ඇපයට ගැනීම් වලදි එවැනි තත්ත්වයන් මැනවින් කළමනාකරණය කරමින් ජීවිත හා දේපල හානි අවම වන අයුරින් එවැනි අවස්ථාවන්ට මුහුණදීම සඳහා හදිසි සැලැස්මක් (Contingency Plan) සැකසීම සඳහා මත්ද්‍ර‍ව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍ර‍ අපරාධ මර්ධනය කිරීමේ වැඩසටහන විසින් ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරීන්ට දෙදින වැඩමුළුවක් ගාල්ල උනවටුන අරලිය හෝටලයේ දී පැවැත්විණ. මෙම වැඩමුළුව 2021 සැප්තැම්බර් මස 30 දින හා ඔක්තොම්බර් 01 වන දින පවත්වන ලදි.

එම වැඩමුළුවේ සමාරම්භය සැප්තැම්බර් මස 30 වන දින පස්වරුවේ පැවති අතර ඒ සඳහා මත්ද්‍ර‍ව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍ර‍ අපරාධ මර්ධනය කිරීමේ වැඩසටහනේ නැගෙනහිර ඉන්දියානු සාගර කාලාපීය වැඩසටහන් සම්බන්ධීකාරක පර්නිලා රස්මුසීන් මහත්මිය, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුලදෙණිය මහතා, එම වැඩසටහනේ ජාතික විශේෂඥ නිලුපුල් ගුණවර්ධන මහතා හා බන්ධනාගාර පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥ ජොහාන් ජොනසන් මහතා මෙන්ම බන්ධනාගාර කොමසාරිස් වරුන්, බන්ධනාගාර අධිකාරිවරුන්, සහකාර බන්ධනාගාර අධිකාරිවරුන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගි වූහ.

එමෙන්ම මෙම වැඩසටහහනට සමගාමීව සැප්තැම්බර් මස 30 දින පෙරවරුවේ විශේෂ වැඩසටහනක් පැවති අතර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ ආරාධනය පරිදි ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලී සබ්රි මැතිතුමා, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න, බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් වී.ආර්.සිල්වා යන මහත්වරුන් සහභාගි වු අතර   මත්ද්‍ර‍ව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍ර‍ අපරාධ මර්ධනය කිරීමේ වැඩසටහනේ ජාතික විශේෂඥ නිලුපුල් ගුණවර්ධන හා බන්ධනාගාර පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥ ජොහාන් ජොන්සන් යන මහත්වරුන්ද සහභාගි වූහ.

එම විශේෂ වැඩසටහනේ සමාරම්භය අමතමින් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් වී.ආර්.සිල්වා මහතා බන්ධනාගාර කළමනාකරණය සිදු කළ යුතු ආකාරය එමගින්  රැදවියනගේ ගැටළු සදහා විසදුම් ලබාදිම ආදි කාරණා සම්බන්ධයෙන් අධිකාරිවරුන්ගේ අවධානය යොමු කළ යුතු බව ප්‍රකාශ කර සිටියේ ය. රැස්ව සිටි පිරිස අමතමින් ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලී සබ්රි මැතිතුමා විසින් මහර බන්ධනාගාරයේ ඇති වු සිදුවීම වැනි සිදුවීම් නැවත නොවීමට කටයුතු කලයුත්තේ කෙසේද ඒ සඳහා පෙර සුදානම් වන්නේ කෙසේද ඒ වගේම ආරක්ෂිත හා වඩා මානව හිතවාදි ලෙස බන්ධනාගාර කළමනාකරණය කළයුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් රැස්ව සිටී පිරිස දැනුවත් කරන ලදි. තවද එම අවස්ථාවේ ආරාධිත දේශනය ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා විසින් සිදුකරන ලද අතර, බන්ධනාගාර කළමනාකරණය කිරිම සහ එහි දී ඇතිවන ගැටළුවලට මුහුණ දෙන්නේ කෙසේද, ගැටළුවලට විසදුම් ලබා දෙන්නේ කෙසේද, ආදර්ශමත් හැසිරිම තුළින් බන්ධනාගාර නිළධාරින්ගේ වෘත්තියේ ගරුත්වය පවත්වා ගැනිමේ වැදගත්කම, මානව හිතවාදීව රැදවියන්ට සැලකීම ආදි කරුණු පිළිබදව අවධාරණය කළ අතර, මෙවැනි වැඩසටහන් සංවිධානය කිරිම සම්බන්ධයෙන්  මත් ද්‍රව්‍ය සහ අපරාධ පිළිබද එක්සත් ජාතීන්ගේ කාර්යාලයට (UNODC) ප්‍රනාමය පුද කරන ලදී.