පැරණි බෝගම්බර බන්ධනාගාරය ඉතා ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථානයක් වන අතර එහි ප්‍රධාන ගොඩනැගිල්ල හා කොටු පවුර ලෝක උරුමයක් ලෙසද නම් කර ඇත. බෝගම්බර බන්ධනාගාරය එම ස්ථානයෙන් ඉවත් කල පසු එම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරිය මගින් සංවර්ධන කටයුතු සිදුකරමින් පවතී.

1876 වර්ෂයේදී බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් බෝගම්බර බන්ධනාගාරය පිහිටුවන ලද අතර බන්ධනාගාර දෙපාර්තමේන්තු ඉතිහාසය තුලද බෝගම්බර බන්ධනාගාරයට සුවිශේෂී වැදගත් කමක් හිමි වේ. එලෙස බන්ධනාගර ඉතිහාසයේ ඉතා වැදගත් ස්ථානයක් වන බෝගම්බර බන්ධනාගාරයේ ඉදිරි සංවර්ධන කටයුතු සිදුකිරීමේදී ලංකාවේ පළමුවරට බන්ධනාගාර කෞතුකාගාරයක් එම ගොඩනැගිල්ලේ එක් කොටසක ඉදිකිරීමට යෝජනා කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

ඒ අනුව මෙම ස්ථානයේ ශ්‍රී ලාංකාවේ බන්ධනාගාර ක්‍රමයේ විකාශනය, ශ්‍රී ලංකාවේ රජ කාලයේ සිට දඬුවම් ක්‍රම වල විකාශනය, අපරාධ යුක්ති ක්‍රමය, බන්ධනාගාර වල ඇති පෞරාණික භාණ්ඩ, සිර / සැක කරුවන්ගේ ඉතිහාසය, නිලධාරීන්ගේ විකාශනය, පුනරුත්ථාපන ක්‍රමවේද වල විකාශනය ඇතුලු ඓතිහාසිකව වැදගත් වන දෑ මහජනතාවට දැකගැනීමටත් මේ පිළිබඳව අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වන අයට ඒ පිළිබඳව අවබෝධයක් ලබා දීමත් මෙහි අරමුණ වේ.

මෙම ස්ථානයේ කෞතුකාගාරයට අමතරව අධ්‍යයන කේන්ද්‍රයක්, බන්ධනාගාර නිෂ්පාදන අලෙවි කරන අලෙවි සැලක් හා බන්ධනාගාර ජීවිතය පිළිබඳව අදහසක් ලබාගැනීමට හැකි විශේෂිත වූ අවන්හලක් ඇතිකිරීමටද බලාපොරොත්තු වේ. මෙම අවහන්හලේ සේවකයින් බන්ධනාගාර නිලධාරීන් හා සිරකරුවන් ලෙස සැරසී සිටිනා අතර ආපන ශාලාවේ ව්‍යුහය සිර මැදිරි ලෙස සකස් වනු ඇත. මෙම ස්ථානය දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ආකර්ශනය ලබාගත හැකි වන ආකාරයට නිර්මාණය කිරීමට ද යෝජනා කර ඇත.

මේ පිළිබඳව වන ව්‍යාපෘති යෝජනාව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා විසින් බන්ධනාගාර කළමණාකරන හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ මහතා වෙත හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා වෙතද ලබා දෙන ලදී. මේ අවස්ථාව සඳහා බන්ධනාගාර කළමණාකරන හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් වී. ආර්. සිල්වා මහතා ද සහභාගී වන ලදී.