කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් රට තීරණාත්මක හා අභියෝගාත්මක වාතාවරණයකට මුහුණ දී සිටින මොහොතේ බන්ධනාගාර තුලද කොවිඩ් රෝගීන් හමුවන පසුබිමක් තුල එම රෝගීන් සුව කිරීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද ඉමහත් වෙහෙසක් දරමින් සිටී.

එම කාර්යයට විශාල දායකත්වයක් දරමින් අද දින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංගමයේ කොළඹ ශාඛාවේ සාමාජිකයින් විසින් ඉදිරි පෙල සෞඛ්‍ය නිලධාරීන් හා කොවිඩ් රෝගීන් වෙනුවෙන් ආරම්භ කල විශේෂ ව්‍යාපෘතියකට අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙතද සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමක් 2021-06-13 වන දින බන්ධනාගාර රෝහල් පරිශ්‍රයේදී සිදුකරන ලදී.

එම පරිත්‍යාග අතරට පාදයෙන් ක්‍රියාත්මක කරන අත්සෝදන යන්ත්‍ර 06 ක්, බෙහෙත් ඉසින යන්ත්‍ර 02 ක්, රෝගීන් හතර දෙනෙකු සඳහා එකවර ඔක්සිජන් ලබාදීමේ හැකියාව සහිතව වැඩිදියුණු කල ඇඳන් 04 ක් ද, හෘද රෝගීන් සඳහා හෘද රෝග හඳුනාගැනීමේ යන්ත්‍ර ද ලබාදෙන ලදී.

කොළඹ බන්ධනාගාර රෝහල් පරිශ්‍රය තුලදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා වෙත සංකේතාත්මකව මෙම සෞඛ්‍ය උපකරණ ආධාර ලබා දීම විද්‍යාර්ථී සංගමයේ සභාපති ඉංජිනේරු ඩී.එම්.ඩී.වී. ජයම්පති මහතා හා එම මහත්මිය, ලේකම් එල්.එච්. ප්‍රියන්ත කබ්රාල් මහතා, භාණ්ඩාගාරික ඉංජිනේරු එස්.එම්. ඥාණරත්න මහතා, ඉංජිනේරු චන්ද්‍රලාල් සූරියආරච්චි මහතා හා උපුල් අබේසිරි මහතා යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සිදු වූ අතර මෙම පරිත්‍යාග ලබා ගැනීම සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය ගයනි තිස්කුමාර මැතිනිය මූලිකත්වය ගෙන කටයුතු සිදුකර තිබූ අතර මෙම අවස්ථාව සඳහා වෛද්‍ය ජගත් කුමාර මල්වත්ත මහතා, වැලිකඩ බන්ධනාගාර අධිකාරි ගාමිණී දිසානායක මහතා සහ බන්ධනාගාර රෝහල් කාර්යමණඩලයද සහභාගී විය.