බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සියළුම පුහුණු කිරීම් සංවිධානය කර පවත්වනු ලබන බන්ධනාගාර පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ නව අනු ශාඛාවක් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර පරිශ්‍රයේදී 2021-02-15 දින විවෘත කරන ලදී.

බන්ධනාගාර උසස්වීම් ලද 43 වන සැරයන් පුහුණු පාඨමාලාව ආරම්භයට සමගාමීව මෙම නව පුහුණු පාසල බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ සුරතින් විවෘත විය. මෙම අවස්ථාව සඳහා අතිරේඛ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුසිත උඩුවර මහතා, පුහුණු මධ්‍යස්ථාන අධිකාරි (අධ්‍යක්ෂ පුහුණු) එම්. එෆ්. ලාහීර් මහතා, අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරි එස්.කේ. පල්ලේතැන්න මහතා, අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර සහකාර අධිකාරි අජිත් පල්ලියගේ මහතා සහ පුහුණු මධ්‍යස්ථාන ප්‍රධාන ජේලර් එච්.ඩී.කේ.එන්. ප්‍රේමවංශ මහතා යන මහත්වරුන් සහභාගී විය.

මෙම පුහුණු පාසල අංග සම්පූර්ණ කාර්යාල ගොඩනැගිල්ලක්, කාර්යමණ්ඩලයට හා පුහුණුවන නිලධාරීන් සඳහා සියළු පහසුකම් සහිත නේවාසිකාගාර හා භෝජනාගාරයකින් සමන්විත වන අතර, පුහුණු කටයුතු සඳහා අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගනය හා දේශන ශාලාවද භාවිතාකරනු ලැබේ.