බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවය කරන නිළධාරීන්ගේ ක්‍රීඩා කුසලතා ජාතික තලයට ගෙනයාමේ අරමුණින් බන්ධනාගාර ක්‍රීඩා හා සුභසාධක සංගමය මගින්, අගුණුකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරි, බන්ධනාගාර මලල ක්‍රීඩා සංගමයේ ලේකම් ඊ.එම්.එස්.මහානාම මහතා හා අගුණුකොළපැලැස්ස බන්ධනාගාර නිළධාරී මණ්ඩලයගේ සෘජු දායකත්වයෙන් මැනවින් සංවිධානය කරන ලද 2025 අන්තර් බන්ධනාගාර මලල ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ගරු පී. රුවන් සෙනරත් මැතිතුමාගේ හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නිහාල් ගලප්පත්ති මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.09.20 සහ 21 දෙදින තුළ අගුණුකොළපැලැස්ස බන්ධනාගාර ක්‍රීඩා පිටියේ දී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිෂාන් ධනසිංහ මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ පැවැත්විය.
මේ සඳහා දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතනයන්හී නිළධාරීන් හා නිළධාරිනියන්ගේ නියෝජනයක් සිදුවූ අතර, ජවන් හා පිටිය තරඟ ඉසව් රාශියක් පැවැත්වින. තරගාවලියේ සමස්ථ ශූරතාවය අගුණකොළපැලැස්ස බන්ධනාගාර කණ්ඩායමත්, අනුශූරතාවය බෝගම්බර බන්ධනාගාරය කණ්ඩායම හා තෙවන ස්ථානය හදීසි ප්‍රතිචාර උපක්රමික බලකාය විසින් හිමි කරගන්නා ලදී.
තරගාවලියේ දක්ෂතා දැක්වු ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට අමාත්‍යතුමන්ගේ සුරතින් ජය සංකේත ප්‍රධානයද සිදු කරන ලද අතර, මෙම අවස්ථාවට බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා බුද්ධි) ප්‍රසාද් හේමන්ත මහතා, බන්ධනාගාර කොමසාරිස් (සැපයුම් හා සේවා ) ගාමිණී බී දිසානායක මහතා, ප්‍රවීණ ජාත්‍යන්තර මල ක්‍රීඩිකා ජයන්ති ඇල්විටිගල මහත්මිය, ජාත්‍යන්තර මල ක්රීඩාකා හා හිටපු බන්ධනාගාර ප්‍රධාන ජේල ජී.ඒ බණ්ඩාර මහතා, ප්‍රවීණ ජාත්‍යන්තර මල ක්‍රීඩිකා විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිණි අඛිලා තිරුනායකී මහත්මිය, තංගල්ල පිරිමි ජාතික පාසලේ විදුහල්පති සුනිල් මිහිඳුකුල මහතා ඇතුළු මලල ක්‍රීඩා ක්ෂේත්රය නියෝජනය කරමින් අරාධිත අමුත්තන් රැසක් හා ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිළධාරීන් රැසක් සහභාගී විය



































