බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පැවැති පුරප්පාඩු සඳහා බඳවාගන්නා ලද 13 වන ජේලර්, පුනරුත්ථාපන නිලධාරි හා 105 වන ආධුනික බන්ධනාගාර නියාමක පාඨමාලා ද්විත්වයේ ආධුනික නිළධාරීන් පුහුණුව අවසන් කර විසිරයාමේ උත්සවය අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ ගරු හර්ෂණ නානායක්කාර මැතිතුමන් හා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ආර්.ප්‍රසාද් හේමන්ත කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.09.19 වන දින පෙරවරු 09.30ට පමණ අගුණකොළපැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගනයේ දී පැවැත්විය.
මෙහිදී ආධුනික ජේලර් නිලධාරීන් 37 දෙනෙකු, ආධුනික කාන්තා ජේලර් නිලධාරීන් 04 දෙනෙකු, එක් පුනරුත්ථාපන නිලධාරිනියක්, ආධුනික නියාමක නිලධාරීන් 197 දෙනෙකු හා කාන්තා නියාමක නිලධාරීන් 25 දෙනෙකු සමඟ සියල්ල 264ක් විසිර ගිය අතර, ද්විත්ව පුහුණු පාඨමාලාවන්ට අදාලව සෑම අතින්ම අතිශූර ආධුනික දෙවන පෙළ ජේලර් ලෙස ඊ.ආර්.ආර්. අවිශ්ක බණ්ඩාර නිලධාරියාත්, 105 වන ආධුනික නියාමක පුහුණු පාඨමාලාවේ සෑම අතින්ම අතිශූර නියාමක නිලධාරීයා වශයෙන් ඊ.ආර්. රසික සුමේධ නිලධාරියාත්, සෑම අතින්ම අතිශූර නියාමක නිලධාරිනිය ලෙස එච්. කවිෂා දේවින්දි නිලධාරිනිය හා තවත් දක්ෂතා දැක්වු නිළධාරී, නිළධාරීනියන්ට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගේ සුරතින් සම්මාන ප්‍රධානය සිදු විය.
මෙම අවස්ථාව වර්ණවත් කරමින් ආධුනික බන්ධනාගාර නිළධාරීන්ගේ සංස්කෘතික අංග කිහිපයකින් හා බන්ධනාගාර තූර්යාවාදක කණ්ඩායමේ අංගයන් කිහිපයක් ඉදිරිපත් කරන ලදී.
මෙම විශේෂ අවස්ථාව සඳහා විශ්‍රාමික බන්ධනාගාර කොමසාරිස් ජනරාල් කේ.ඩබ්ලිව්.ඊ. කරලියද්ද මහතා හා විශ්‍රාමික කොමසාරිස්වරුන් හා බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා බුද්ධි/ මාධ්‍ය ප්‍රකාශක) එස්.කේ පල්ලේතැන්න මහතා, බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) ගජනායක මහතා, බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) එස්.එල්.විජේසේකර මහතා, ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරි ආර්.රජීව සිල්වා මහතා, යාන්ත්‍රික ඉංජිනේරු හරිස්චන්ද්‍ර මහතා, අධ්‍යක්ෂ පුහුණු ප්‍රදීප් වසන්ත කුමාර මහතා ඇතුලු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික බන්ධනාගාර අධිකාරිවරුන්, සහකාර බන්ධනාගාර අධිකාරිවරුන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිළධාරීන් රැසක් හා ආධුනික නිළධාරීන්ගේ ඥාතින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



















































