බන්ධනාගාර නිළධාරින්ගේ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට අතදීමක් ලෙස සංවිධානය කරන ලද අභ්‍යාස පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2023.03.25 වන අද දින ලංකාව පුරා පිහිටි බන්ධනාගාර ආයතන 31ක දී පැවැත්වීමට කටයුතු කරන ලද අතර ඊට අවශ්‍ය මූල්‍යමය දායකත්වය බන්ධනාගාර දෙපාර්තමේන්තු ක්‍රීඩා හා සුභසාධක සංගමය,බන්ධනාගාර බෞද්ධ සංගමය හා ප්‍රාදේශීය බන්ධනාගාර ආයතනවල ක්‍රීඩා හා සුභසාධක සංගම් මගින් දරණ ලදි.

ඒ අනුව රටතුළ පිහිටා ඇති බන්ධනාගාර ආයතන 31 ක රාජකාරි සිදුකරන නිලධාරීන්ගේ අධ්‍යාපනය හදාරන දරුවන් 4123 දෙනෙක් සඳහා ඊළඟ පාසල් වාරයට අවශ්‍ය අභ්‍යාස පොත් පරිත්‍යාග කිරීමේ මෙම වැඩසටහන් අද දින පෙ.ව.9.00ට බන්ධනාගාර ආයතනවල පවත්වන්නට යෙදුණ අතර ඒ සඳහා සමස්ත පිරිවැය ලෙස රුපියල් මිලියන 12.5ක මුදලක් වැයකරන ලදි.

මෙම වැඩසටහනේ ප්‍රධාන උත්සවය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් බන්ධනාගාර මූලස්ථානයේ දී පැවැත්වීමට කටයුතු කරන ලද අතර ඒ සඳහා බන්ධනාගාර කොමසාරිස් (සැපයුම් හා සේවා/කර්මාන්ත) කේ.ඒ.එස්. කොඩිතුවක්කු මහතා, බන්ධනාගාර මූලස්ථාන අධිකාරී බි.ඩී.එම්.ජී.බී දිසානායක මහතා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගි වුහ. පැමිණ සිටි දරුවන් අමතමින් අධ්‍යාපනයේ වැදගත්කම මෙන්ම ගුණගරුක, නීති ගරුක හා කුසලතා වලින් පිරි පුරවැසියන් ලෙස හැදී වැඩී රටේ උන්තිය වෙනුවෙන් කැපවීමේ අවශ්‍යතාවය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා විසින් අවධාරණය කරන ලදි.