බන්ධනාගාර රැඳවියන් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින් ඔවුන්ගේ ශ්‍රමය රටට ඵලදායී ලෙස යොදා ගැනීමේ එක් අධියරයක් ලෙස “ සිපිරි හරිත දනව්ව” කාලීන විශේෂ රුක්රෝපණ ව්‍යාපෘතියේ සමාරම්භය 2021-04-03 වන දින පල්ලෙකැලේ බන්ධනාගාර එලිමහන් සිර කඳවුරේදී සිදුවිය.

මෙම ව්‍යාපෘතියේ ප්‍රථම අධියර ලෙස බන්ධනාගාර කළමණාකරන හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ සුරතින් 2021-04-03 දින පැල සිටුවීම ආරම්භ වූ අතර ඒ සඳහා බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා, බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) මලින් ලියනගේ මහතා හා කොළඹ Startford සිංහ සමාජයේ නියෝජිතයින් ඇතුලු බන්ධනාගාර නිලධාරීන් සහභාගී විය.

මෙයට සමගාමීව දිවයිනේ අනෙකුත් එලිමහන් සිරකඳවුරු වන අනුරාධපුර, තල්දෙන සහ පල්ලන්සේන ද, බන්ධනාගාර වැඩ කඳවුරු වන වටරැක, මිතිරිගල, කන්දෙවත්ත, පිටබද්දර, කදුරුගස්ආර, වීරවිල, වාරියපොළ, කුරුවිට, අඹේපුස්ස සහ හංගිලිපොළ ආයතන තුළ පැල 5000 ක් දීපව්‍යාප්තව වගා කිරීමට අපේක්ෂිතය.

මීට අමතරව පල්ලේකැලේ එලිමහන් සිරකඳවුරේ බන්ධනාගාර අධිකාරි යූ.ජී.ඩබ්. තෙන්නකෝන් මහතාගේ සංකල්පයට අනුව ආයතන නිලධාරීන්ගේ සහයෝගයෙන් අභිනවයෙන් ස්ථාපිත කරන ලද උපදේශන කාර්යාලය හා නිලධාරීන්ගේ කරණවෑමී අංශය එදින බන්ධනාගාර කළමණාකරන හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ සුරතින් විවෘත කරන ලදී.