රටේ පවතින කාබනික පොහොර හිඟයට හා ගැටළුවට පිලියමක් ලෙස සහ අතිගරු ජනාධිපතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වසවිසෙන් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අරමුණ සාක්ෂාත් කිරීම වෙනුවෙන් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ මැතිතුමාගේ සංකල්පයකට අනුව බන්ධනාගාර ගත රැඳවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් කාබනික පොහොර නිෂ්පාදනය සහ වස විසෙන් තොර එළවළු සහ පළතුරු බන්ධනාගාර ආශ්‍රිතව නිෂ්පාදනය කිරීමේ වැඩසටහනක් අද දින (26) මඩකලපුව එලිමහන් බන්ධනාගාර පරිශ්‍රයේදී ආරම්භ කෙරිණ.

“සරුසාර” සිපිරි ගෙයින් ගොවි බිමට යන තේමාව යටතේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාගේ පූර්ණ සහයෝගය මෙයට ලබාදෙන අතර මෙම වැඩපිළිවෙල ඉදිරියේදී වීරවිල, කදුරුගස්ආර, තල්දෙන, හංගිලිපොල හා අනුරාධපුර යන එලිමහන් බන්ධනාගාර ආයතන තුල ඉතා කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බවද මෙහිදී ප්‍රකාශ කරන ලදී. රැඳවියන්ගේ පුනරැත්ථාපන ක්‍රියාවලියට අනුව ඔවුන්ගේ මානසික සෞඛ්‍යය ඉහල නැංවීමත් , ඔවුන් හට ස්වයං රැකියාවක් සඳහා අවශ්‍ය වෘත්තීය පුහුණුවක් ලබාදීමත් මෙමගින් සිදුවේ.

මෙම අවස්ථාව සඳහා සහභාගී වී මෙම මහඟු කාර්යය සඳහා උපරිම සහයෝගය ලබා දෙන බවත් මෙම කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය තාක්ෂණය සහ මූල්‍ය අනුග්‍රහය තම අමාත්‍යංශය විසින් ලබාදීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්දානන්ද අලුත්ගමෙගේ මහතා විසින් ප්‍රකාශ කරන ලදී.

මෙම අවස්ථාව සඳහා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ මැතිතුමා, කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා, රාජ්‍ය අමාත්‍ය ගරු එස්. වියාලේන්ද්‍රන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ශිවනේෂ්තුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුලු ප්‍රාදේශීය දේශපාලන නායකයින් පිරිසක්ද, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා, අතිරේඛ බන්ධනාගාර කොමසාරිස් තුසිත උඩුවර මහතා, මඩකලපුව බන්ධනාගාර අධිකාරි සුජීව විජේසේකර මහතා හා කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.