කොරෝනා වසංගතය මර්ධනය කිරිමේ ක්‍රියාවලියට සක්‍රීයව දායක වී සිටින යුධ හමුදා විරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ මහර රැදවියන් විසින් නිෂ්පාදනය කරනු ලැබූ ආරක්ෂිත ඇදුම් තොගයක් යුධ හමුදා රෝහල වෙත පරිත්‍යාග කිරීම පසුගියදා නාරාහෙන්පිට යුධ හමුදා රෝහලේදී සිදු කරන ලදි.

කොරෝනා වසංගතය හමුවේ අසරණ වී සිටින ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට හා සෞඛ්‍ය අංශ වෙත ආරක්ෂිත ඇදුම් කට්ටල ලබාදීම අරමුණු කරගනිමින් සිංගප්පූරුවේ පදිංචි පරිඝණක ඉංජිනේරු අමිල සිල්වා, අයර්ලන්තයේ පදිංචි නිපුන පෙරේරා, මොරටුව පරිඝණක ඉංජිනේරු පීඨයේ හේමක රවීන් ඇතුළු මිතුරන් කිහිප දෙනෙකු විසින් ආරම්භ කරන ලද https://slsecure.online වෙබ් අඩවිය හරහා ලැබුණු ඉල්ලීම් අනුව මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ මහර රැදවියන් විසින් නිෂ්පාදිත මෙම ඇදුම් කට්ටල දිවයින පුරා රෝහල් රැසකට ලබාදීමට නියමිතව ඇත.

සිංගප්පූරුව, එංගලන්තය, ඇමරිකාව, අයර්ලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව සහ ශ්‍රී ලංකාවේ පදිංචි ලාංකික මිතුරන් පිරිසක් විසින් ව්‍යාපෘතිය සදහා මූල්‍ය අනුග්‍රහය ලබාදි ඇති අතර යුධ හමුදා රෝහලේ වෛද්‍ය එස්.එම්. තිලකරත්න මහතා විසින් මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතාගෙන් ආරක්ෂිත ඇදුම් තොගය භාරගන්නා ලදි. මේ අවස්ථාවට යුධ හමුදා රෝහලේ සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලයේ නිළධාරින් පිරිසක්ද සහභාගී විය.