රටතුල පවතින කොරෝනා වසංගතය මර්ධනය කිරීම සදහා දිවි හිමියෙන් කැප වී සේවය කරන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා ඔවුන් වෙනුවෙන් මහර බන්ධනාගාරයේ රැදවියන් විසින් නිෂ්පාදනය කරන ලද ආරක්ෂිත ඇදුම් කට්ටල තොගයක් මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතා විසින් අද දින නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පබා පලිහවඩන මහත්මිය වෙත පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශයේදී පරිත්‍යාග කරන ලදි.

කොරෝනා වසංගතය හමුවේ අසරණ වී සිටින ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීම සදහාත් සෞඛ්‍යය සේවා සඳහා ආරක්ෂිත ඇදුම් කට්ටල ලබාදීම සදහාත් සිංගප්පූරුවේ පදිංචි පරිඝණක ඉංජිනේරු අමිල සිල්වා, අයර්ලන්තයේ පදිංචි නිපුන පෙරේරා, මොරටුව පරිඝණක ඉංජිනේරු පීඨයේ හේමක රවීන් ඇතුළු මිතුරන් පිරිසක් විසින් ආරම්භ කරන ලද https://slsecure.online වෙබ් අඩවිය හරහා ලැබුණු ඉල්ලීම් මත මෙම ආරක්ෂිත ඇදුම් කට්ටල, මහර බන්ධනාගාර වෘත්තීය පුහුණුව හදාරන රැදවියන් විසින් නිෂ්පාදනය කල අතර බොරැල්ල Spruce Clothing ආයතනයේ රංගා තාබෘ මෙන්ඩිස් මහත්මිය විසින් රැදවියන් සඳහා අවශ්‍ය උපදේශකත්වය ලබා දෙන ලදි.

සිංගප්පූරුව, එංගලන්තය,ඇමරිකාව, අයර්ලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව සහ ශ්‍රී ලංකාවේ පදිංචි ලාංකික මිතුරන් පිරිසක් විසින් මෙම ව්‍යාපෘතිය සදහා මූල්‍ය අනුග්‍රහය ලබාදි ඇති අතර දිවයින පුරා තෝරාගත් රෝහල් සහ ප්‍රාදේශීය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාල රැසකට මෙම ආරක්ෂිත ඇදුම් කට්ටල 1500ක් බෙදාහැරීමට නියමිතය.