බන්ධනාගාර තදබදය අඩු කිරීම සඳහා පොදු සමාව ලබාදීමේ ප්‍රතිපත්ති ක්‍රියාවලියට අමතරව සමාලෝචන ක්‍රියාවලියක් හරහා විශේෂ සමාවක් ප්‍රදානය කිරීමට යාන්ත්‍රණයක් සකස් කිරීමේ කමිටු වාර්ථාව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි මැතිතුමා වෙත හා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ  මැතිතුමා වෙත පිළිගැන්වීම 2021.03.30 වන  දින බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

වර්තමානයේ බන්ධනාගාර පද්ධතිය මුහුණ දෙන ප්‍රධානතම ගැටළුක් වන බන්ධනාගාර තුළ පවත්නා අධික තදබදය සම්බන්ධව අතිගරු ජනාධිපතිතුමා හා ගරු අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ අවධානය යොමු වී බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පිහිටුවන ලදී. එම අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කළ යුතු රැඳවියන්ට සමාව ප්‍රදානය කිරීමේ යාන්ත්‍රණය සකස් කිරීමේදී කමිටුව විසින් අවධානය යොමුකළ ප්‍රධාන කරුණු කිහිපයක් ඇත.

  • සමාජ සුරක්ෂිතභාවයට බාධාවක් නොවිය යුතු බව
  • නීතිය ක්‍රියාත්මක කරන ආයතන අවතක්සේරුවට ලක්නොවිය යුතු බව
  • මෙම නව යාන්ත්‍රණය බන්ධනාගාර පරිපාලනයට රුකුලක් විය යුතු බව

­­මේ පිළිබඳව අවධානය යොමුකරමින් සකස් කළ නව යාන්ත්‍රණය ඉදිරියේදී බන්ධනාගාර තදබදය අවම කරගැනීමටත්, දීර්ඝ කාලයක් දැඩි මානසික අසහනයකින් සිර කුටියක් තුළ ජීවිතය ගත කළ බොහෝමයක් රැඳවියන්ට සහනයක් ලබාදීමටත් නියමිතය.

එම අවස්ථාවට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය,බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්  වී.ආර්. සිල්වා, එම කමිටුවේ සභාපති බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු  රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.එන්.එම්.සී ධනසිංහ යන මහත්වරුන් ඇතුළු කමිටුවේ සාමාජිකයින් බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් හා රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියහ.