දෙවන වරටත් පවත්වන බන්ධනාගාරගත නේවාසිකයන්ගේ නිර්මාණාත්මක කුසලතා එළිදැක්වීමේ “සිර සර ශිල්ප 2023” කර්මාන්ත ප්‍රදර්ශනය හා අලෙවියේ සමාරම්භක උත්සවය 2023.04.10 වන දින අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ගරු අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ සහ අධිකරණ හා බන්ධනාගාර කටයුතු ගරු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී ප.ව. 02.30ට පැවැත්විය.

බන්ධනාගාර ගත නේවාසිකයින්ගේ සුරතින් නිර්මාණය වු ගෘහ භාණ්ඩ හා ගෘහ උපකරණ , එළවළු වර්ග, කෘෂි උපකරණ, කාබනික පොහොර, අත්කම් නිර්මාණ ඇතුළු බොහෝ දෑ පහසු මිලගණන් යටතේ අලෙවි කිරිමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු සලසන ලද අතර, එහිදී අප්‍රේල් මස 10, 11 හා 12 යන තෙදින පෙ.ව 09.30 සිට ප.ව. 10.00 අලෙවි කුටි විවෘතව පවතී.

මෙම විශේෂ අවස්ථාව සඳහා අමාත්‍යංශයේ ‍ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා, බන්ධනාගාර ‍කොමසාරිස් (‍මෙහෙයුම් හා බුද්ධි) ටී.අයි.උඩුවර මහතා, බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) කේ.ඒ.එස්.‍කොඩිතුවක්කු මහතා ඇතුලු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිළදාරීන් රැසක් සහභාගී විය.