1905 වර්ෂයේ ආරම්භ කරන ලද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 21 වෙනි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයා ලෙස ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන් එච්.එම්.ටී.එන්. උපුල්දෙනිය මහතා 2021.02.20 වන දින සිය ස්ථීර පත්වීම ලබාගන්නා ලදී.

පොළොන්නරුව රාජකීය විද්‍යාලයෙන් හා මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා කැළණිය විශ්ව විද්‍යාලයට ඇතුලත්ව විශේෂ උපාධි ලාභියෙකු බවට පත්වන ඒ මහතා කළමණාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙකු, අපරාධ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙකු හා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලයේ මානව හිමිකම් පිළිබඳ ශාස්ත්‍රපති උපාධි ධාරියෙකු වේ.

2001 වර්ෂයේ අගෝසතු මස 08 වෙනි දින සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකු ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවයට එක්වෙන එතුමා බන්ධනාගාර අධිකාරීවරයෙකු ලෙසත්, ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී වරයෙකු ලෙසත් උසස්වීම් ලබාගනිමින් බන්ධනාගාර ආයතන ගණනාවකම සේවය කිරීමෙන් අනතුරුව බන්ධනාගාර කොමසාරිස් වරයෙකු ලෙස 2016 වර්ෂයේදී උසස්වීම් ලබාගන්නා ලදි. බන්ධනාගාර කොමසාරිස් (සැපයුම්), බන්ධනාගාර කොමසාරිස් (පාලන), බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම්), බන්ධනාගාර කොමසාරිස් (බුද්ධි හා ආරක්ෂක) හා බන්ධනාගාර දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක යන තනතුරු හොබවමින් දෙපාර්තමේන්තුවට ඉමහත් සේවයක් ඉටුකල ඒ මහතා 2020 ජූනි මස 08 වෙනි දින සිට වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයා ලෙස පත්වීම් ලබාගන්නා ලදි.

මෙසේ 21 වෙනි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයා ලෙස පත්වීම් ලද එච්.එම්.ටී.එන්. උපුල්දෙනිය මහතා වෙනුවෙන් විශේෂ නිලපෙරට්ටුවක් 2021.03.01 වන දින බන්ධනාගාර මූලස්ථානයේදී පවත්වා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උත්තමාචාරය පිරිනැමීමට කටයුතු කරන ලද අතර දෙපාර්තමේන්තුව නව මානයකට රැගෙන යාමට එතුමන් හට ශක්තිය ධෛර්ය හා වාසනාව ලැබේවායි සමස්ත බන්ධනාගාර නිලධාරීන් ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.