අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව බන්ධනාගාර තුල මත්ද්‍රව්‍ය අවම කිරීම සඳහා ක්‍රියාත්මක කරන වැඩ පිළිවලේ කොටසක් ලෙස නේවාසික සහචර නායකයින් පුහුණු කිරීම සඳහා වැලිකඩ, කොළඹ රිමාන්ඩ් හා මැගසින් යන බන්ධනාගාර වල දෙදින පුහුණු වැඩ සටහන් පැවැත්වීමට තීරණය කර ඇත. එහි පළමු අදියර ලෙස වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු වැඩසටහන 2021.03.03 වන දින ආරම්භ කරන ලදී.

මෙම පුහුණුව මගින් බන්ධනාගාර තුල නේවාසික සහචර නායකයන් පුහුණු කර ඔවුන්ගේ නායකත්වය යටතේ බන්ධනාගාර ගතවූ පසු විවිධ ක්‍රම මගින් මත්ද්‍රව්‍ය ලබාගැනීමට විරුද්ධව කටයුතු කරන නේවාසික කණ්ඩායමක් බිහිකර එම කණ්ඩායම මගින් අනෙකුත් නේවාසිකයන් දැනුවත් කිරීම මෙහි අරමුණක් වන අතර Drugs Free Prisons සංකල්පය හදුන්වාදීම මෙහි ප්‍රධාන අරමුණයි.

රැඳවියන් අතරින් සහචර නායකයින් ලෙස තෝරාගන්නා ලද රැඳවියන්ගේ හැකියාවන් හා දක්ෂතාවයන් හඳුනාගැනීමත් නායකයෙකු සතු ලක්ෂණ හා වගකීම් පිළිබඳවත් මත්ද්‍රව්‍ය හඳුනාගැනීම හා නිවාරණය, ජීවිතාවබෝධය රසවින්දනය හා පෞර්ෂත්වය වර්ධනය කිරීම යන මාතෘකා ඔස්සේ ඉතා හරවත් පුහුණු වැඩසටහනක් මෙම දෙදින තුල ලබාදෙනු ඇත.

වැලිකඩ බන්ධනාගාර පුහුණු සැසියේ ආරම්භක උත්සවය සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා, වැලිකඩ බන්ධනාගාර අධිකාරී ගාමීණී බි දිසානායක මහතා ඇතුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන් රැසක්ද අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය නියෝජනය කරමින් සහකාර අධ්‍යක්ෂක රෝෂන් ගුණවර්ධන මහතා, සහකාර අධ්‍යක්ෂක ඉසුරු සමරකෝන් මහතා, කළමණාකරු සනත් දිනසේකර මහතා ඇතුළු උපදේශන සහකාර නිලධාරී මහත්ම මහත්මීන් රැසක් සහභාගී විය.