බන්ධනාගරගත වන විශේෂ ඝණයේ රැඳවියන් රඳවා තබන බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ මේ වන විට රඳවා ඇති රැඳවියන්ගේ මානසික සුවය හා ඔවුන් පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් වශයෙන් සමාජගත කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක කරන පුනරුත්ථාපන ක්‍රියාවලියේ එක් වැඩසටහනක් වශයෙන් සති පාසල වැඩසටහනක් 2022.06.21 දින එම බන්ධනාගාරයේදී පවත්වන්නට යෙදුණි.

පූජ්‍ය අතුරුගිරියේ ධම්ම විහාරී ස්වාමින් වහන්සේ විසින් සාර්ථක ජීවිතයකට සතිමත් බව යන තේමාව යටතේ පවත්වන ලද මෙම වැඩසටහන හා එහි ක්‍රියාකාරකම් සඳහා විශේෂ ඝනයේ රැඳවියන් හතලිහක පමණ පිරිසක් ඉතාමත් උනන්දුවෙන් සම්බන්ධ වු අතර, තම ජීවිතය හා තමා මෙතෙක් පැමිණි මාර්ගය පිළිබදව වටහා ගැනීමටත් මෙම වැඩසටහන මහගු පිටුවහලක් වු බව ඔවුන් බොහෝ දෙනාගේ මතය විය. තවද, තම මනස නිවැරදි මාවතකට යොමු කර ගැනීම සඳහා තව දුරටත් මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසත් ඔවුන් විසින් ඉල්ලා සිටින ලදී.

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය වෙත මෙම විශේෂ ඝණයේ රැඳවියන් යොමු කරන ලද මුල් අවදියේදී ඔවුන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවත්, එහි නිළධාරිනුත් හා රජයේ ඇතැම් ‍ජ්‍යෙෂ්ඨ නිළධාරිනුත් කෙරෙහි ඉතා ද්වේශ සහගතව කටයුතු කළ අතර, ඇතැම් අවස්ථා වල කලහකාරී ලෙසද හැසිරුනේය. එසේ නමුත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට ඔවුන්ගේ හැසිරීම් ‍විලාසය යහපත් මාවතකට පැමිණ ඇති බව නිරීක්ෂණය වේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.ටී.එන්.උපුල්දෙණිය මහතාගේ සංකල්පයකට අනුව බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ඝණ‍‍යේ රැඳවියන් සඳහා පැවැත්වු මෙම වැඩසටහන සඳහා බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා, බූස්ස බන්ධනාගාර අධිකාරී සිරිධත් ධම්මික මහතා, සහකාර බන්ධනාගාර අධිකාරී (පුනරුත්ථාපන) ජයන්ත අදාසුරිය මහතා ඇතුළු බන්ධනාගාර නිළධාරීන් රැසක් සහභාගී විය.