2020-06-08 දින සුභ මොහොතින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අභිනව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයා වශයෙන් තුෂාර උපුල්දෙණිය මහතා වැඩ භාරගන්න ලදී. ඒ වෙනුවෙන් සංවිධානය කරන ලද උත්සවයක් බන්ධනාගාර මුලස්ථානයේදී පැවැත්වුණු අතර එයට විශේෂ අරාධිත අමුත්තන් හා ජේෂ්ඨ බන්ධනාගාර නිලධාරින් සහභාගී වන ලදී.

2001 වසරෙදී සහකාර බන්ධනාගාර අධිකාරි වරයෙකු වශයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවයට පත්වන එතුමා වැලිකඩ, බෝගම්බර, ගාල්ල, කෑගල්ල, කුරුවිට යන බන්ධනාගාරයන්හිද, බන්ධනාගාර අධිකාරි ලෙස කොළඹ රිමාන්ඩ්, මහර සහ බන්ධනාගාර පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ ද, ජේෂ්ඨ බන්ධනාගාර අධිකාරි ලෙස බන්ධනාගාර මූලස්ථානයේද රාජකාරි කර බන්ධනාගාර කොමසාරිස් ලෙස උසස්වීම් ලබා බන්ධනාගාර කොමසාරිස් (බුද්ධි හා ආරක්ෂණ), (මෙහෙයුම්), (පාලන), (සැපයුම්) යන ධූරයන්හි ද මනා ලෙස රාජකාරි ඉටුකර දෙපාර්තමේන්තුවේ පුරා දශක දෙකකට ආසන්න කාලයක සේවා පළපුරුද්දක් සහිත ජේෂ්ඨ නිලධාරියෙකි.

පොලොන්නරුව රාජකීය විද්‍යාලයෙන් සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා කැළණි විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිලිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධියක්ද, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පිලිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව පිලිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයෙන් මානව හිමිකම් පිලිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද හදාරා ඊට අමතරව දේශීය සහ විදේශීය පුහුණු පාඨමාලා රැසකටද සහභාගී වී ක්ෂේත්‍රය පිලිබඳ හසල දැනුමක් ලත් නිලධාරියෙකි.