සාහිත්‍යකරණයේ නියැළි විශිෂ්ටතා දැක්වූ ශ්‍රී ලාංකේය සාහිත්‍යවේදීන් ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන 2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2022.10.28 දින  පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මෙහිදී හොඳම ස්වතන්ත්‍ර (දෙමළ) නවකතාව ලෙස නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින වයස අවුරුදු 42ක එල්.ටී.ටී.ඊ රැදවියකු විසින් රචිත ආදුරසාලයි (වෛද්‍ය වරයකු විසින් නොදියුණු රෝහලක් දියුණු තත්වයට පත්කර ගැනීම) නවකතාව මෙලෙස සම්මානයට පාත්‍ර විය.

මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියකු ද වන මෙම රැඳවියා මැගසින් බන්ධනාගාරගතව සිටියදී දෙමළ භාෂා කෘතීන් 07 ක් සහ ඉංග්‍රීසි භාෂා කෘතියක් රචනා කර ඇත. එම කෘතීන් සියල්ල රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශ වී ඇති අතර, 2016 වර්ෂයේදී ද හොඳම දෙමළ නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකරගෙන ඇත.

‍මෙම අවස්ථාව සඳහා රාජ්‍ය සාහිත්‍ය මණ්ඩලයේ සභාපති පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා, එම අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා, සංස්කෘතික කටයුතු අධ්‍යක්‍ෂ තරණි අනෝජා ගමගේ මහත්මිය, මහාචාර්ය ජේ. බී.දිසානායක මහතා, මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා, මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතා බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

මෙම සම්මානයට පාත්‍ර වු රැඳවියාට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රමුඛ බන්ධනාගාර දෙපාර්ත‍මේන්තුවේ සුභ පැතුම් එක් කරන ලදී.