පුරා වසරකට වැඩි කාලයක් තිස්සේ පැවති කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පසුගිය කාලය පුරාවට සියළුම ආයතනවල බන්ධනාගාර නිලධාරීන් බොහෝ සෙයින් වෙහෙස මහන්සි වී රාජකාරී කටයුතු කළ අතර, කොවිඩ් රෝගී වූ රැඳවියන් ආරක්ෂණය කිරීම, ඔවුන් භාරව රාජකාරී කිරීම වැනි අවධානම් කටයුතු ගණනාවක නිරත වන ලදී.

එම කාලය පුරාවට කැපවීමේන් කල රාජකාරී කටයුතු හේතුවෙන් මේ වන විට කොවිඩ් 19 වසංගත අවධානම බන්ධනාගාර තුල බොහෝ සෙයින් පාලනය කිරීමට හැකි වී ඇත. එම සාර්ථක කාර්යයේ යෙදී සිටි සියළුම නිලධාරීන්ගේ මානසික විඩාව අවම කිරීමත්, ඒකාකාරීභාවයෙන් හා රාජකාරී මානසිකත්වයෙන් මිදී නිලධාරීන්ගේ ආතතිය දුරු කොට මානසික තෘප්තියක් ලැබීමත්, නිලධාරීන් අතර සහයෝගීතාවය හා ක්‍රීඩා කුසලතාවය වර්ධනය කිරීමත් අරමුණු කර ගනිමින් කොළඹ බන්ධනාගාර ආයතන 05 ක් තුල ක්‍රිකට් තරඟාවලි පහක් දින පහක් තුලදී පවත්වන ලදී.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමාගේ අනුමැතිය මත පවත්වන ලද මෙම තරඟාවලි ආයතනික වශයෙන් සංවිධානය කර පවත්වා ඉතා සාර්ථකව නිමා කල අතර ආරාධිතයින් ලෙස මෙම තරඟ නැරඹීමට හා තරඟ වැදීම සඳහා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමන්ලා ඇතුලු උසස් නිලධාරීන් බොහෝ පිරිසක්ද සහභාගී වූහ.
තරඟාවලි පැවැත්වූ ආයතන හා ශූරතාවය ලබාගත් කණ්ඩායම් පහත පරිදි වේ.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය – (C.R.P කිංග්ස් කණ්ඩායම) ,
වැලිකඩ බන්ධනාගාරය – (වැලිකඩ ඊගල්ස් කණ්ඩායම) ,
බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය – (රත්නපුර ටස්කර්ස් කණ්ඩායම),
බන්ධනාගාර මූලස්ථානය – (සිරකරු පුනරුත්ථාපන අංශ කණ්ඩායම)
මැගසින් බන්ධනාගාරය – (නාත්තන්ඩිය වයිකින්ග්ස් කණ්ඩායම)