අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව බන්ධනාගාර තුල මත්ද්‍රව්‍ය අවම කිරීම සඳහා ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය නිවාරණ නියමු ව්‍යාපෘති වැඩමුළුවේ තෙවන අදියර 2021-03-15 දින මැගසින් බන්ධනාගාරයේදී ආරම්භ විය. දින දෙකක පුහුණුවක් වන මෙහි පළමු අදියර වැලිකඩ බන්ධනාගාරයේ දී පවත්වන ලදී.

මෙම පුහුණුව මගින් බන්ධනාගාර තුල නේවාසික සහචර නායකයන් පුහුණු කර බන්ධනාගාර තුලට මත්ද්‍රව්‍ය ලැබීම හා මත්ද්‍රව්‍ය භාවිතයට විරුද්ධව කටයුතු කරන නේවාසිකයින් ලෙස ඔවුන්ගේ නායකත්වය යටතේ කණ්ඩායමක් බිහිකර එම කණ්ඩායම මගින් අනෙකුත් නේවාසිකයන් දැනුවත් කිරීම මෙහි අරමුණක් වන අතර Drugs Free Prisons සංකල්පය හදුන්වාදීම මෙහි ප්‍රධාන අරමුණයි.

රැඳවියන් නායකයින් ලෙස පුහුණු කර හැකියාවන් හා දක්ෂතාවයන් හඳුනාගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා එම හැකියාවන් යොදාගැනීමත්, ජීවිතාවබෝධය රසවින්දනය හා පෞර්ෂත්වය වර්ධනය කිරීම සඳහා උචිත හරවත් දේශන සහිත පුහුණු වැඩසටහන් මෙම දෙදින තුල ක්‍රියාත්මක වේ.

ආරම්භක උත්සවය සඳහා බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා, මැගසින් බන්ධනාගාර අධිකාරි යූ.බී. වලිසුන්දර මහතා , සහකාර බන්ධනාගාර අධිකාරි (පුනරුත්ථාපන) ජයන්ත අදාසූරිය මහතා, මැගසින් බන්ධනාගාර සහකාර අධිකාරි එච්.එම්.එස්.එම් උපුල්දෙණිය මහතා, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය නියෝජනය කරමින් කළමණාකරු සනත් දිනසේකර මහතා, උපදේශන සහකාර නුවන් තිසේරා මහතා හා පබසරා කහදවල මහත්මිය, මත්ද්‍රව්‍ය අධ්‍යයන තොරතුරු නිලධාරී දුල්ෂානි තාරකා මහනාම මහත්මිය හා බන්ධානාගාර පුනරුත්ථාපන නිලධාරීන් සහභාගී විය.