බන්ධනාගාරගත රැඳවියන් බැලීමට පැමිණෙන අමුත්තන් හට සිදුවන අපහසුතාවයන් මගහැරවීමට සහ බන්ධනාගාර වල ආරක්ෂාව තහවුරු කරගැනීමේ අරමුණින් බන්ධනාගාරගත රැඳවියන් මුනගැසීමට බන්ධනාගාරයට පැමිණෙන අමුත්තන්හට වෙලාවක් වෙන්කරවාගෙන පැමිණීමේ පහසුකම සැපයීම සඳහා වෙබ් යෙදවුමක් හඳුන්වා දී තිබේ. මෙමගින් රැඳවියන් මුනගැසීමට පැමිණෙන අමුත්තන්ගේ තදබදය අවම කිරීමත් ඔවුන්ට පහසු වෙලාවක් වෙන්කරගෙන පැමිණීමෙන් ඔවුන්ගේ කාලය ඉතිරිකර දීමත්, බන්ධනාගාර පරිශ්‍රයේ රැඳී සිටීමේදී සිදුවන අපහසුතාවයන් අවම කිරීමටත් බලාපොරොත්තු වේ. මෙහිදී අමුත්තන් හට වෙබ් යෙදවුමට පිවිස තමන්ගේ සහ රැඳවියාගේ තොරතුරු ද, මුනගැසීමට පැමිණෙන දිනය සහ වෙලාව ආදී තොරතුරුද ඇතුලත් කිරීම මගින් වෙලාවක් වෙන්කර ගැනීමෙන් පසු එම වෙලාවට බන්ධනාගාරයට පැමිණ ප්‍රමාදයකින් තොරව රැඳවියා මුනගැසීමට හැකියාව පවතී. තවද, වර්තමානයේ පවතින කොවිඩ් -19 වසංගත තත්වය හේතුවෙන් බන්ධනාගාර වෙත අමුත්තන් පැමිණීම වලක්වා ඇති අතර වසංගත තත්වය පහවීමෙන් පසු ඉහත පහසුකම අමුත්තන් හට ලබාදීමට කටයුතු සුදානම් කර තිබේ.

මෙම පද්ධතියේම කොටසක් ලෙස වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමුත්තන් හට රැඳවියන් සමග සම්බන්ධ වීමේ පහසුකම සලසාදී ඇති අතර ඉහත ආකාරයෙන්ම පද්ධතියට පිවිස රැඳවියා මුනගැසීම සඳහා වෙලාවක් වෙන්කරවාගනිමෙන් පසු දෙපාර්තමේන්තුව විසින් ලබාදී ඇති වීඩියෝ තාක්ෂණික පහසුකම් මගින් අමුත්තන් නැරඹීමේ හැකියාව රැඳවියන්හට ලැබේ. මෙම සේවාව මගින් රැඳවියන් නැරබීමට පහසුකම් සැලැස්විය නොහැකි අවස්ථා වලදී වීඩියෝ තාක්ෂණය මගින් මුනගැසීමට හැකියාව ලැබෙන අතර එමගින් බන්ධනාගාරයේ මෙන්ම රැඳවියන්ගේද අමුත්තන්ගේද ආරක්ෂාව තහවුරු වේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ සංකල්පයකට අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තු සැලසුම් හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය විසින් මෙම වෙබ් යෙදවුම සංවර්ධනය කරන ලද අතර මේ සඳහා අවශ්‍ය වන පරිගණක උපාංග සහ විශේෂ වීඩියෝ කුටි ඉදිකිරිම සඳහා මූල්‍යමය දායකත්වය ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය විසින් ලබාදෙන ලදී. මෙම යෙදවුම 2020-12-15 වන දින අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේදී බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ මහතා විසින් නියමු ව්‍යාපෘතියක් ලෙස දියත් කිරීම සිදුකල අතර මේ සඳහා අමාත්‍යංශ ලේකම් මේජර් ජනරාල් වී.ආර්. සිල්වා, ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ සාමාජිකයින්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඇතුළු බන්ධනාගාර කොමසාරිස්වරුන්ද සහභාගී වන ලදී.