බන්ධනාගාර දෙපාර්තමේන්තුව බන්ධනාගාර ප්‍රතිසංස්කරණවලට ප්‍රමුඛතාවයක් ලබාදෙමින් පස් අවුරුදු සැලැස්මකට අනුව ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් වර්තමානයේ කටයුතු කරමින් පවතී. ඒ අනුව බන්ධනාගාර  දෙපාර්තමේන්තුව තුළ ප්‍රතිසංස්කරණයන්ට ලක්විය යුතු සුවිශේෂි අංශයන් හඳුනාගනිමින් ඒවාට පිළියම් සහිතව සකස් වු පස් අවුරුදු සැලැස්ම තුළ බන්ධනාගාර තදබදය අවම කිරීමට ප්‍රමුඛතාවයක් ලබාදී තිබෙන අතර ඒ සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වශයෙන් විසඳුම් යෝජනාකර තිබේ.

ඒ අනුව බන්ධනාගාර තදබදයට විසදුමක් ලෙස මෙන්ම සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත කිරීම වෙනුවට විකල්පයක් ලෙස දියුණු විශෝධන ක්‍රමවේදයන් ක්‍රියාත්මක වන රටවල භාවිතා කෙරෙන නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමවේදය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමටද ඉහත පස් අවුරුදු සැලැස්ම මගින් යෝජනාකර තිබෙන අතර United Nations Standard Minimum Rules for Non-custodial Measures (The Tokyo Rules) මගින්ද මෙවැනි විකල්පයන් ප්‍රවර්ධනය කෙරේ.

නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමවේදයේ දී සුළු වැරදි සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන මෙන්ම සුළු දඬුවම් ලබන රැඳවියන් බන්ධනාගාරගත නොකොට ඔවුන්ගේ නිවෙස්වලම නියමිත කාලය තුළ රැඳවීම සිදුකරන අතර තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන්ව අධීක්ෂණය කිරීම සිදුකරනු ලබයි. තවද සෞඛ්‍ය අවශ්‍යතා, රැකියා අවශ්‍යතා වැනි සීමා සහිත හා පෙර අනුමැතිය ලද කාර්යයන්ට පමණක් නිවසින් පිටතට යාමට ඔවුන්ට අවස්ථාව ලැබේ.

මෙම ක්‍රමවේදය ක්‍රියාත්මකවීම තුළ සුළු වැරදි සඳහා බන්ධනාගාරගත වන පිරිස් අඩුවීම හරහා බන්ධනාගාර තදබදය අවම වීම සිදුවනවා සේම විශාල මුදලක් රජයට ඉතිරිවීමද සිදුවේ. තවද දඩගෙවා ගැනීමට අපොහොසත් වීම මත බන්ධනාගාරගත කිරීමෙන් ඔවුන්ගේ ආදායම් මාර්ග අහිමිවීම හේතුවෙන් දඩමුදල ගෙවීමට ඔවුන්ට නොහැකි වන අතරම ඔවුන් බන්ධනාගාර තුළ රැඳවීම නිසා රජයට ඔවුන් වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමටද සිදුවේ. ඒ අනුව දඩමුදල ගෙවීමට නොහැකිවීම නිසා බන්ධනාගාරගත වන රැඳවියන් සඳහා නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම මගින් ඔවුන්ට රැකියාවකට යාමට අවස්ථාව ලැබීම තුළින් තම දඩමුදල ගෙවාගැනීමට අවස්ථාවද සැලසේ.

ඒ අනුව බන්ධනාගාරගත කිරීම වෙනුවට විකල්පයක් වශයෙන් නිවාස අඩස්සියේ තැබීමේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට අදාලව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පිළියල කරන ලද ව්‍යාපෘති යෝජනාව අධිකරණාභිමානයක  උතුරු පළාත්  ජන අභිමුව යුක්තියේ ප්‍රවේශය වැඩ සටහනට සමගාමිව ගරු අධිකරණ අමාත්‍ය අලී සබ්රි ඇමතිතුමන් යාපනය බන්ධනාගාරය නිරීක්ෂණ සංචාරයේ දී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා විසින් ඔහු වෙත පිළිගැන්වීම සිදුකරන ලදි. මෙම අවස්ථාව සඳහා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්ද සහභාගි වූහ.